Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව ODI Cricket ඉන්දීය කාන්තා පිලට ජයග්‍රාහී ආරම්භයක්
කාන්තා ලෝක කුසලාන - 2025

ඉන්දීය කාන්තා පිලට ජයග්‍රාහී ආරම්භයක්

editorial - 2025 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ තුඩඟ රැව්දුන් ප්‍රකාශයක් වන “ක්‍රිකට් කියන්නේ වාසනාව තමා” යන්න කදිමට සනාථ කළ අමන්ජෝත් කෞර්ගේ පිතිහරඹයත් දීප්ති ෂර්මා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද (53 සහ 54/3) දැක්වූ විශිෂ්ට දස්කම් නිසාත් 2025 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය කාන්තාවෝ ජයග්‍රාහී ආරම්භයක් ලබාගත්හ.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහටි නුවරදී අද (30 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගයේදී සත්කාරක ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 59 ක පහසු ජයක් අත්කර ගත්හ. 

ඉන්දීය කාන්තාවෝ ඕවර 47 ක් නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 269 ක් ලබාගත් නමුත් ශ්‍රී ලාංකික කාන්තාවන්ට ඕවර 45.4 ක් අවසන, සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 211 ක් පමණි. 

ඉනෝකා රණවීර සහ චමරි අතපත්තු දෙදෙනා ලකුණු 04 ක් ඇතුළත කඩුලු 4 ක් දවාගනිමින් ඉන්දීය කණ්ඩායම මහත් පීඩනයකට පත්කළ නමුත් හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අමන්ජෝත් කෞර් (57) සහ දීප්ති ෂර්මා (53) එක්ව ඉන්දීය පිල වැටුණු අසීරු අඩියෙන් ගොඩ ගත්හ. 

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වෘත්තීය මට්ටමේදී දෙපිල අතර පවතින පරතරය කදිමට විද්‍යමාන වූ මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් ඉන්දීය ක්‍රීඩිකාවෝ දිගු ගමනක් යාම ආරම්භ කළහ. 
දෙවරක්ම වර්ෂාවෙන් බාධා පැමිණි හෙයින් තරගයේ පැය දෙකකට ආසන්න කාලයක් අපතේ ගියේය. එහෙත් අඩුකරන ලද්දේ ඕවර 3 ක් පමණි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් උඩපන්දු හතරක්ම බිම දැමීමෙන් විශිෂ්ට ප්‍රයෝජන ගත් අමන්ජෝත් කෞර් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් ද සමගින් ලකුණු 57 ක් ලබාගත්තාය. 

වමතින් දඟ පන්දු යවන්නී, ඉනෝකා රණවීර එකම ඕවරයකදී කඩුලු 3 ක් දවාගැනීම හේතුවෙන් කඩුලු 2 කට 120 ක් ලබා සිටි ඉන්දීය කණ්ඩායම හදිසියේම කඩුලු 5 කට 121 ක් ලෙසින් ඇද වැටිණ. ඊළඟ ඕවරයේදී චමරි අතපත්තුගේ පන්දුවක් හමුවේ ‘බැක්වර්ඩ් පොයින්ට්’ හි සිටි උදේශිකා ප්‍රබෝධනී උඩපන්දුවක් රැකගත් හෙයින් ලකුණු පුවරුව කඩුලු 6 ට 124 ක් ලෙසින් වෙනස් විය. එසේ වුවත් අමන්ජෝත් කෞර් සහ දීප්ති ෂර්මා (53) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉන්දීය පිල වැටී සිටි අසීරු අඩියෙන් ගොඩගත්හ. 

හත්වැනි කඩුල්ලේ සම්බන්ධතාව සාර්ථක වීමට ප්‍රධානතම හේතුවක් වූයේ අමන්ජෝත් කෞර්ගේ උඩපන්දු 4 ක්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙතින් ගිළිහී යාමයි. අමන්ජෝත් විසින් දෙන ලද උඩපන්දු ගිළිහී යන විට ඇය ලකුණු 17 ක්, 37 ක්, 50 ක් සහ 53 ක් ලබා සිටියාය. දෙවැනි වර වර්ෂාවෙන් බාධා පැමිණීමෙන් පසුව අමන්ජෝත් විසින් දෙන ලද උඩපන්දුව පන්දු යැවූ ඉනෝකා රණවීර රැකගත්තේ නම්, ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 5 ක් දවාගත් පළමු ක්‍රීඩිකාව වීමේ අවස්ථාවද ඇය සතුවිය. 

ඉනිමේ අවසානය ආසන්න වීමත් සමගින් වඩාත් වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූ අමන්ජෝත් සහ ස්නේ රානා දෙදෙනා, පන්දු 39 කින් ලකුණු 42 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩායම ලකුණු 260 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. 


අදහස් (0)

ඉන්දීය කාන්තා පිලට ජයග්‍රාහී ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.